Monday, September 25, 2017

ස්තූතියි!




ෆැකල්ටි ඔෆ් සෙක්ස් විකුණන්න මං මාකටින් පාවිච්චි කළා කියල එක එක විදිහෙ නෝක්කාඩු ඇහෙනවා. සමහරු මේක වැල පත්තර විකිනීමකට සමාන කරනවා. ඒ අතරෙ මේවා මාකටින් නෙමෙයි කියල රන්ඩු කරන අයත් ඉන්නවා. ඒ කතා මොනවා ගැන වුනත්  ඇතිවුන හැම සංවාදයක්ම සාකච්ඡුාවක්ම බැනුමක්ම අපවාදයක්ම පොත තව තවත් මිනිස්සු අතරට යන්න උදව් කළා.

බැනුම් අපවාදවලට මං වෙනම පෝස්ට් හැදුවා. බැන්නත් මාර්කට් කරනවා කියල ඒකට අවුල් වුන අයත් හිටියා. ඒත් ලියපු පොතක් ගැන කියන හොඳ වගේම නරකටත් ප‍්‍රකාශ වෙන්න ඉඩක් දෙන්න  ඕන කියල මං හිතනවා. මගේ වැඩකදි නම් හොඳට වඩා නරක එලියට කියන්න මං පුළුවන් සපෝර්ට් එකක් දෙනවා. ඒකෙන් කතාබහ වඩා පළල් වෙනවා. ඉන්ටරෙස්ටින්ග් වෙනවා. හොඳක් කිව්වත් නරකක් කිව්වත් ඒ කතා කරන්නෙ පොත ගැන. මගේ ව්‍යාපෘතිය ගැන.  ඊට අදාලව ලියවෙන  ඕනම දෙයක් මං දකින්නෙ මං කරපු වැඬේ වෙනුවෙන් දරන මහන්සියක් කියල. තරහවක් ආවේගයක් වුනත් මගේ වැඩෙන් ඇතිවුන බලපෑමක් කියල. ඒවා නිදහස් වෙන්න  ඕන. සමහර විට ඒකට කියන්නෙ මාකටින් වෙන්න ඇති.

ඇත්තටම මට පොත කියන්නෙ නිමිත්තක් විතරයි. පොතකින් ලැබෙන මුදල ගැන මට දැනෙන වටිනාකමක් නෑ.  ඕන නම් හාර පන්දාහක් පොත් විකිනෙයි. මං වඩා වැදගත් විදිහට දකින්නෙ පොත වටේට නිර්මාණය වෙන සංස්කෘතිය. ඒක  ඕනම භාන්ඩයක් හෝ සේවාවක් සඳහා නිර්මාණය වෙන්න  ඕන කියලයි මං හිතන්නෙ. ඒකෙනුයි ඒකට හැ`ගීමක්, ආත්මයක් දෙන්නෙ. සමාජයට වඩා වැදගත් වෙන්නෙ එහෙම දෙයක් වටේට ගොඩනගන ෆීල් එක නැත්තං කල්චර් එකයි. නිකං පොතක් එලියට දාලා ඒක එලියට එනවා කියල දැන්වීමක් ගහන එක මට දැනෙන්නෙ පාරිභෝගිකයෙක් විදිහට මාව අවතක්සේරු කිරීමක් හැටියට. මං මුදල ගෙවලා ගන්න භාන්ඩයට හෝ සේවාවට වඩා විශාල අවකාශයක්, උපයෝගිතාවයක් මට ලැබෙන්න  ඕන. අනන්‍යතාවයක්, සම්බන්ධයක්, මාව ප‍්‍රකාශමාන වීමක් ඒ හරහා සිද්ද වෙන්න  ඕන. පොතක් හෝ ආර්ට් වැඩක් කියන්නෙ මේ ගුණය අනිවාර්යෙන් තියෙන්න  ඕන තැනක්. නැත්තං මට නිර්මාණකරුවාගෙ දැක්ම ගැන ඇතිවෙන්නෙ පරණ හැගීමක්.

සමහර විට ඒකට කියන්නෙ මාකටින් වෙන්න ඇති.

ඒක එහෙම නං  විමුක්තිය හොයාගෙන යන මාර්ගය කියපු බුදුන් පවා මාකටින් පාවිච්චි කළා. එයාගෙ ධර්මය කියන්න හවුස් ටු හවුස් කැම්පේන් එකක් කළා. මැසේජ් එක ඩිස්ටෝර්ට් වෙයි කියල එක මග දෙන්නෙකුට යන්න එපා කිව්වා. ඇවිදින කතාකරන ඉරියව් පවා නිර්මාණය කළා. එයා කියන්න ගිය ධර්මයට අදහස දුන්නෙ මේ බාහිර සමස්තය නැත්තං ආකෘතිය. අපේ ආර්ට්වලට සම්බන්ද අය තාම විශ්වාස කරන්නෙ අන්තර්ගතය තමයි මාර කියල. ඒත් මං හිතන්නෙ ආකෘතියයි අන්තර්ගතයයි දෙකක් නෙමෙයි එකක් කියල. පොතට කරපු කැම්පේන් එක තමයි මගේ වැඬේ. පොත කියන්නෙ ඒකෙ කොටසක් විතරයි.

මට  ඕන වුනේ ඉරොටික් සංස්කෘතිය ගැන සාකච්ඡුාවක් හදන්න. සෙක්ස් කියන්නෙ අඳුරෙ කාමරයක් ඇතුලෙ රහසෙ සිද්ද වෙන අතිශය පුද්ගලික පටු තැනින් ඒක නිදහස්, එලිමහනෙ රස විඳින්න පුළුවන්, වරදකාරී නොවෙන, සීමා මායිම් නැති මනුස්ස බැඳීමක් කියන යෝජනාව ගේන්න. බුද්දිමත්තු කියන කොටස මේක කරන්න හදන්නෙ සෙක්ස් දේශපාලනිකව කියවන්න ගිහින්. ඒත් දේශපාලනය එනකොටම එතන සෙක්ස් නැති වෙනවා. මට අනුව සෙක්ස්වල තියෙන සුන්දරත්වය වෙන්නෙම ඒක කිසිම දර්ශනයක් න්‍යායක් නැතිව ප‍්‍රාථමික නිරුවත් ආශාවක් විදිහටම පවතින එකේ. විශ්ලේෂණයට යනවා වෙනුවට මිනිස්සු ආදරෙන් බෙදාහදාගන්නා ශෘංගාරයක් ගැන කතා කරන්න මං කැමතියි.

අනිත් පැත්තට සෙක්ස් හෝ ශෘංගාරය කියන එක සුන්දර විඳිය යුතු විවෘත මිනිස් මුහුවීමක් කියලා බාරගැනීමත් එක්කම අපි දැන නොදැන පනවාගත් ගොඩක් සීමා මායිම් වෙනස් වෙන්න ගන්නවා. ඒක සෝෂල් ඩිස්රප්ෂන් එකක්. ආදරෙන් වැළඳගන්නවා හෝ වෛරයෙන් ප‍්‍රතික්‍ෂේප කරනවා මිස මැද්දක් එතන නෑ.

 ආගමට හෝ පොලිටික්ස්වලට පෙනී ඉන්න බැරි කලාපයක් ඒක. ඇත්තටම සෙක්ස් වෙනුවෙන් පෙනී ඉන්නවා කියන වාම කණ්ඩායම් පවා අවසාන අර්ථයෙන් උත්සාහ ගන්නෙ සෙක්ස් පාලනය කරන්න. ලිංගිකත්වය දේශපාලනිකව කියවීම අවශ්‍යයි කියන කතාවෙ තේරුමම ඒක. ඒ නිදහස් මිනිස් සම්බන්ධතාවයත් න්‍යායික බලයෙන් නතු කරන්න. ආගමට  ඕන වුනෙත් ඒ ටිකමයි. ඇත්තම හේතුව නිදහස් ලිංගික සම්බන්ධතා විසින් නිදහස් මිනිස්සු නිර්මාණය කරන එක. ඒකෙන් සමාජ සම්බන්ධතා නැවත ප‍්‍රතිසංවිධානය කරන්න බල කරන එක. සාම්ප‍්‍රදායික ගම්මුන්ටත් වඩා වම්මු බයයි මේ පවතින සම්බන්ධතා ව්‍යූහය ප‍්‍රතිසංවිධානය වෙනවට.

මේක වැල කතාවක් විදිහට කියවන්න සමහරු උත්සාහ කරද්දි මේක වැල කතාවක් තරමට නෑ කියල තව කට්ටියක් මැසිවිලි කිව්වා. ශෘංගාර නවකතාවක් යනු මෙයද කියල ප‍්‍රශ්න කිරීම් මතුවුනා. ඒක මට අනුව අවශ්‍යම සංවාද කලාපයක්. ශෘංගාර සාහිත්‍යයක් නැති ලංකාව වගේ රටක ශෘංගාර සාහිත්‍ය කතිකාවක ආරම්භය සටහන් වෙන්නෙ එහෙම.

ලංකාවෙ ශෘංගාර නවකතා මීට කලින් ලියවිලා නෑ. වැල පත්තර පත‍්‍රිකා විදිහට ලියවුනෙත් කෙටි අසම්බන්ධිත ලියවිලි විතරයි. මං කිසිසේත්ම ඒ වැල කියල හඳුන්වන පෝර්නොග‍්‍රැෆික් ප‍්‍රකාශන අවතක්සේරු කරන්නෙ නෑ. මං ඒවා උපරිමෙන් රස විඳින සහ ඒවායින් උපරිමයෙන් පෝෂණය වෙන කෙනෙක්. ඒත් මේ වෙද්දි වැල (පෝර්න්) සහ ශෘංගාර (ඉරොටික්) කියන රචනා ගැන ඒ සාහිත්‍යයන් දියුණු රටවල වෙනස් කතිකාවන් නිර්මාණය වෙලා තියෙනවා.


ශෘංගාර නවකතාවක් විදිහට අපි හඳුන්වන්නෙ විවිධ ලිංගික ක‍්‍රියාකාරකම් හරහා ගමන් කරන චරිත ඇසුරු කරගනිමින් අපි කරන ප‍්‍රබන්ධයක්. එතනදි ක‍්‍රියාකාරකමට බැහැරව ඒ චරිතවල මානසිකත්වයන් සාකච්ඡුාවට ගන්නවා. සිද්ධි මූලික වෙනවට වඩා මිනිස් සම්බන්ධතා විදිහට සෙක්ස් කියවන්න ගන්නවා. එතනදි පෝර්න් මට්ටමටම  යන ශෘංගාර ප‍්‍රබන්ධ තියෙනවා. ඒත් ලිංගික ඇසුර විෂයෙහි නිර්මාණය කරන මිනිස් විෂය නිසා ඒවා පෝර්න් කියන කැටගරියට ගන්නෙ නෑ. 

මං හිතන්නෙ මේක වැල කතාවක් විදිහට කියවන්න උත්සාහ කරපු අයට ඇතිවෙන බිඳවැටීම තියෙන්නෙ එතන. ඒක වෙනස් රසයක්. අපි බ්ලූ බලනකොට වුනත් සමහරු කැමතියි ස්ටෝරි එකක් එක්ක තියෙන බ්ලූ බලන්න. තවත් සමහරු කැමතියි කෙලින්ම ඇක්ෂන් එකට යන්න. ඒක රුචිකත්වයේ වෙනසක්.
වැල කියද්දි අපි නිතරම සෙක්ස්වලින් මනුස්ස කියන කෑල්ල ගලවනවා. වැල හෝ පෝර්න් කියන අදහසම ඩි-හියුමනයිස් කරපු සෙක්ස්. ඒක ද්‍රව්‍යමයයි. මට ඒ සාහිත්‍ය ඇසුරෙදි නිතර දැනුන අඩුවක් වුනේ ඒක. මං කැමතියි හුස්ම ගන්න, සංස්කෘතියක් තියෙන මිනිස්සු වනචර වෙනවට. හෙන්රි මිලර්ලා, ඇනායි නීන්ලා ලියන ඒවට මං වඩා බැඳෙන්නෙ ඒකයි.

තව තැනක මේක ඊඑල් ජේම්ස්ගෙ ෆිෆ්ටි ෂේඞ්ස් ඔෆ් ගේ‍්‍ර එක්ක පවා සංසන්දනය කරලා තිබුනා. ඒක ගොඩක් හොඳ දෙයක්. කම්පැරේටිව් විදිහට කෘතියක් කියවන්න උත්සාහ ගන්න එක. ඉරොටික් ෆික්ෂන් සහ ඉරොටික් ෆිල්ම්ස් වලට දැඩි ලෙස ඇබ්බැහි වෙලා ඉන්න මට ෆිෆ්ටි ෂේඞ්ස් කියවන්න අමාරු වුනා. මට ඒකට හේතුව වුනේ ඊඑල් ජේම්ස්ගෙ ලියන විලාසය හුගක්ම ළාබාල එකයි. ඒත් ලෝකෙ විශාල පිරිසක් ෆිෆ්ටි ෂේඞ්ස් ආදරෙන් වැළඳගත්තා. වඩාත්ම ඉන්ටරෙස්ටින්ග් දේ ෆිෆ්ටි ෂේඞ්ස් ඇසුරෙන් බිහිවුණු ෆැන්ස්ලගෙ නිර්මාණ. ඒවා ගොඩක් ඇත්තටම ෆිෆ්ටි ෂේඞ්ස් වලට වඩා ඉස්සරහින් දැනුනා. වැඩිපුරම ඊඑල් ජේම්ස්ට බැඳුනෙ කාන්තාවන් වීමත් විශේෂයක්. සමහර විට ෆිෆ්ටි ෂේඞ්ස් හරහා අපි බලාපොරොත්තු වෙන පිරිමි ලිවීමක විලාසයක් අභියෝග වුනා වෙන්නත් පුළුවන්.

ලංකාවෙ පළවෙනි වතාවට වැල පත්තර විදිහට කඬේ ලෑල්ල යට ගුලිවෙලා තිබ්බ පිරිමින්ට සීමාවෙච්ච ශෘංංගාරය එලිමහනෙ පොත් ප‍්‍රදර්ශනේකට ආවා. මහා ජන විරෝදයක් ඇවිත් පොත තහනමකට යයි කියල මුලින් බලපොරොත්තු වුනත් එහෙම දෙයක් වුනේ නෑ. මිනිස්සු හුගක් කැමැත්තෙන් වගේම විවෘතව පොත බාරගත්තා. පොත එක්ක ගිය ෆේස්බුක් සාකච්ඡුාවලදි බලාපොරොත්තු නොවෙන තරම් විවෘතව නිදහස්ව මිනිස්සු අදහස් කිව්වා. සෙක්ස් කියන එක යම් පමණකට හරි අන්ටැබූ වීමක් සිද්ද වෙන්න මේ පොත එලිමහනෙ කතාබහ කිරීම බලපෑවා. ඇත්තටම විදග්ද බුද්දිමත් කියල පෙනී ඉන්න අය ඇඹරුන තරමට සාමාන්‍ය ජනතාව පොත ඉස්සරහ ඇඹුරුනෙ වෙව්ලූවේ නෑ. ඒක ගොඩක් මැචුවර් බාරගැනීමක්.

පොත් ස්ටෝල් එක ළ`ගදි සුන්දර ගැහැණුන් ඇවිත් පොත ගන්න හැටි මං බලන් හිටියා. අනෙක් වැදගත් යැයි සම්මත පොත් කීපයක් පෙරලා තෝරා ගත්තට පස්සෙ කිසි වගවිභාගයකින් තොරව මේ පොත ඒ පොත් යටින් තියාගෙන ඒ ගොල්ලො කැෂියර් එකට ගියා. ඒක හරි ලස්සන ගැහැණුකමක්. ඉනසන්ට් මුරන්ඩුකමක්.
ගොඩක් අය තමන්ගෙ ජීවිතේ සුන්දර ශෘංගාර අත්දැකීම් මාත් එක්ක බෙදාගත්තා. පිරිමි වෙනුවට ගෑනු ගොඩක් මේ පොතේ සෙක්ස්වලට එහා මනුස්ස හැ`ගීම් දැක්කා. පොතේ දෙවෙනි මුද්‍රණයත් ඉවර වුනා.
මේ පොත ප‍්‍රින්ට් කරන්න කොන්දක් වගේම නිදහස් මනසක් තිබුන සන්නාටත්, පොත කියවපු, කමෙන්ට් කරපු, අදහස් හුවමාරු කරපු, ඒකෙන් විනෝද වුනු, විවෘත මිනිස්සු හැමෝ ගැනමත් මට තියෙන්නෙ භක්තියක්. සමාජයෙන් අහිමි කරලා තිබුනු මිනිස් සංවේදන කලාපයක අපි හැමෝම මේ පොතත් එක්ක ජීවත් වුනා. ඒක කාලෙකට පස්සෙ දැනුන සුන්දර අත්දැකීමක්.

මට ඒක පොතක් හෝ වැල හෝ මාකටින් වලට වඩා ගොඩක් ලොකු මනුස්ස අවකාශයක්.
ඒ වෙනුවෙන් ස්තුතියි.

No comments:

Post a Comment